සාමාන්‍යපුවතකට වැඩි යමක්

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව

ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍ය දරණ හමුදාවේ නිර්දය යකඩ කෝව තුළට ඔවුන්ව ගාල් කිරීමෙන් අත්පත් කරගත හැක්කේ ද?

2009 යුද්ධාවසානයත් සමග සමාජය වසා පැතිරෙන්ට පටන්ගත් හමුදාකරණය, සිව් වසක් ඉක්ම ගොස් ඇති අද, සිව් දෙසින් වට කරන ලද සුපුරුදු දෛනිකත්වයක් බවට පත්ව තිබේ. යුද්ධය පැවති වකවානුවේ මේ හමුදාකරණය දැනුණේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලටයි. දැන් යුද්ධයේ නිමාවත් සමග එය මුළු රටම වෙළාගනිමින් සිටී. ගැටුමෙන් පීඩාවට පත් ප‍්‍රදේශවලට එය දැනෙන අන්දම, සාමාන්‍ය ඇසකට පෙනෙන තරමට, අතිශය බරපතල ය. රටේ වෙනත් ප‍්‍රදේශවලට සාපේක්ෂව ගත් විට උතුරේ හමුදා අතිරික්තයක් නැතැ යි කියන ආණ්ඩුවේ බොරුව, කිලිනොච්චි, මුලතිව් සහ වව්නියා හරහා යනෙන ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබේ. උදාහරණයක් වශයෙන්, ගජබා රෙජිමේන්තුව ද, 14 වැනි සහ 22 වැනි බලඇණි ද, 561 වැනි, 573 වැනි, 574 වැනි, 591 වැනි, 681 වැනි සහ 682 වැනි බලසේනා ද, 59 වැනි සහ 68 වැනි සේනාංක ද, ඒ පළාතට යන ඕනෑම කෙනෙකුට පෙනෙන හමුදා දර්ශන වලින් කිහිපයක් පමණි.

සින්තියා එන්ලෝගේ අර්ථකථනයට අනුව, ‘හමුදාකරණය යනු, යම් සමාජයක් හමුදාව මගින් පියවරෙන් පියවරට නතු කරගනු ලබන, හමුදාවක් මත යැපෙන තත්වයට සමාජයක් පත්කරනු ලබන සහ ආයතනයක් වශයෙන් හෝ උපමානයක් වශයෙන් හමුදාමය පුරුෂාර්ථ උරාගනු ලැබීමකට පොළඹවන, සමාජ තත්වයකි.’ඈ අපට මතක් කර දෙන පරිදි, ‘හමුදාකරණය කරන ලද යමක් නිර්-හමුදාකරණය කළ හැකිය.

නිර්-හමුදාකරණය කරන ලද යමක් යළි හමුදාකරණය කළ හැකිය’. වර්තමාන ලංකාව පත්ව ඇති හමුදාකරණ ක‍්‍රියාවලිය විමසීමේ දී, එන්ලෝගේ නිරීක්ෂණයක් වන, ‘හුදෙක් පැහැදිළිව දැකගත හැකි තැන්වල පමණක් හමුදාකරණය සිදුවෙනවා නොව, බෝම්බ සහ හමුදා නිල ඇඳුම් පේන තෙක් මානයකවත් නැති තැන්වල පවාඇති දේවල් සහ අදහස් ද, මිනිස් අරුත් සහ ප‍්‍රයෝජ්‍යතා ද, ඒ මගින් විපරිණාමයට පත්කරන්නේය’ යන්න, විශේෂයෙන් අපට අදාළ වන්නේය. මන්ද යත්, යුද්ධය අවසානයේ සිට ලංකාවේ ඇති වෙමින් තිබෙන සීග‍්‍ර හමුදාකරණය නිවැරදිව හඳුනා ගැනීමට නම්, පැහැදිළි දෘෂ්‍යමානයෙන් එපිටට ගොස් ලංකාවේ තත්වය සොයා බැලිය යුතු වන නිසා ය.

ආරක්ෂාව සහ සංවර්ධනය අතර බන්ධනය උතුරේ හමුදාකරණය සිදුවන්නේ, බහුවිධ තලවල, සංකීර්ණ ආකාරයන්ගෙනි. කඳවුරු හෝ සිවිල් කාර්යාලවල භෞතික පැවැත්ම හැරුණු කොට, බරපතල උද්වේගයට කාරණා වන්නේ, සිවිල් පරිපාලනය තුළ මෙන්ම, සංවර්ධනයට අදාළ ක‍්‍රියාකාරකම් සහ වාණිජමය ව්‍යාපාර තුළ දක්නට ඇති හමුදාවේ සහභාගීත්වයයි.

මෙසේ වර්ධනය වීමට නියමිත හමුදා ක‍්‍රියාකාරකම් පිළිබඳ ඉඟියක් සපයමින් 2009 තරම් ඈතක දීම, උතුරේ ආරක්ෂක හමුදා ආඥාපතිවරයා පැවසූ පරිදි, භීෂණය අතුගා දැමීමෙන් පසුව, ‘පළාතේ සංවර්ධන ක‍්‍රියාවලිය තුළ ආරක්ෂක හමුදා නව භූමිකාවක නියුක්ත වනු ඇත.’ මේ සංවර්ධන ක‍්‍රියාවලිය තුළ හමුදාවේ මැදිහත්වීම මොන තරම් දුරදිග ගියේ ද යත්, ව්‍යාපෘති හෝ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීම තනිකරම හමුදාවේ අවසරයට යටත් කෙරුණි. සංවර්ධන කටයුතු සඳහා වන්නියට යාම ඒම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයන තර්කය මත ඇතැම් පුද්ගලයන්ට තහනම් කෙරුණි.

උතුරේ සංවර්ධන කටයුතු දැන් නැවතත් සිවිල් පරිපාලනයට භාරකොට ඇතැ යි ආණ්ඩුව කීවත්, ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය තවමත් හමුදා ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳ තොරතුරු සපයයි. උදාහරණයක් වශයෙන්, 2012 නොවැම්බර් මාසයේ එම වෙබ් අඩවිය පළ කළ පරිදි, ‘ආණ්ඩුව ගෙන යන උතුරේ වේගවත් සංවර්ධන වැඩපිළිවෙල තුළ, මංමාවත් ගොඩනැගීම, යටිතල සංවර්ධනය සහ නිවාස වැනි ව්‍යාපෘති ගණනාවක හමුදාව නියුක්තව සිටී.’

හමුදාව කරන්නේ උතුරු පළාත නැවත ගොඩනැගීම සඳහා සිවිල් පරිපාලනයට හුදෙක් ‘සහාය’ වීම යැයි හෝ වෙනත් අමාත්‍යාංශ ඊට කලින් ආරම්භ කළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට උදව් වීමකැ යි හෝ ආණ්ඩුව පැවසිය හැකි වෙතත්, උතුර සඳහා වන සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා 2013 දී කැඳවන ලද කමිටුවක් රැස්වුණේ 55 වැනි සේනාංක මූලස්ථානයේ වීම සහ එම රැස්වීමේ මූලාසනය දැරුවේ හමුදා අණදෙන නිලධාරියා විසින් වීම, හමුදාව සහ සිවිල් පරිපාලනය අතර පවතින අසමාන බල විභේදනය මොනවට පෙන්නුම් කළ අවස්ථාවකි. මෙවැනි හමුදා මැදිහත්වීම් ද, උතුරේ පමණක් නොව, රටේ වෙනත් පළාත්වල පවා මෙතෙක් සිවිල් පරිපාලනය යටතේ කරගෙන ගිය ව්‍යාපෘතීන් පවා හමුදාවට පවරා ගැනීම් ද යුක්තිසහගත කරගැනෙන්නේ, ගැටුම්කාරී තත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිවිල් පරිපාලනය දුර්වල වී ඇතැ යි යන තර්කය මත ය. උදාහරණයක් වශයෙන්, කොළඹ නගර මධ්‍යයේ පිහිටි විහාර මහාදේවී උද්‍යානය කළමනාකරණය කර ගැනීමට කොළඹ නගර සභාව අපොහොසත් වීය යන තර්කය යටතේ, නාවික හමුදාවේ අධීක්ෂණයට එම උද්‍යානය පත්කළ බව වාර්තා විය. සිවිල් පරිපාලනය ශක්තිමත් කරනවා වෙනුවට, මහජන සේවාවන් තුළ ඇති දූෂණ චෝදනා ගැන සොයා බලනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ, එවැනි චෝදනා සහ පරිපාලනයේ දුර්වලතා, හමුදා මැදිහත්වීම් යුක්ති සහගත කර ගැනීම සඳහා හේතුවක් කර ගැනීමයි.

හමුදාකරණය පවුරු බැඳීම

සිවිල් පරිපාලනය හමුදාකරණය වීම, රජයේ නිලධාරීන් සහ මහජනතාව විසින්මත් මේ වන විට ආයතනගත කොට තිබේ. ඒ කෙතෙක් ද යත්, 2011 ජනවාරි මාසයේ යාපන අර්ධද්වීපයේ ජනතාව භීතියට පත්කළ පැහැරගෙන යාම් සහ ඝාතන පෙළක් දිග හැරෙන විට, යාපනේ දිසාපතිවරයා ඒ ගැන සාකච්ඡා කෙළේ පොලීසිය සමග නොව, පළාතේ හමුදා ප‍්‍රධානියා සමග ය. පළාතේ ආරක්ෂක තත්වය තහවුරු කිරීම සඳහා මහජන රැස්වීම් පැවැත්වූයේ ද පොලීසිය නොව හමුදාව ය.

වඩාත් මෑතක දී, 2012 නොවැම්බර් මාසයේ යාපනේ විශ්ව විද්‍යාලයට හමුදාව ඇතුලූ වී ශිෂ්‍යයන්ට පහරදීමේ ද්ධියකට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පැවැත්වු උද්ඝෝෂණය ව්‍යර්ථ කිරීමට පොලීසිය සහ හමුදාව මැදිහත් වීමෙන් පසු විශ්ව විද්‍යාලයෙන් හමුදාව ඉවත් කරගන්නැ යි උපකුලපතිවරයා ආඥාපතිවරයා හමු වී ඉල්ලා සිටියේය. හමුදාව එහි කැඳවුයේ පොලීසියේ සහායට යැයි කීව ද, හමුදාව ඉවත් කර ගැනීමේ තීරණය එහි දී ගත්තේ පොලීසිය නොව, හමුදා ආඥාපතිවරයා ය. මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය මෙසේ ලීවේය: ‘උපාධි අපේක්ෂකයන් ද, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද හැරුණුකොට වෙන කිසිවෙකුට, උපකුලපතිවරයාගේ හෝ රෙජිස්ට‍්‍රාර්වරයාගේ අවසරයකින් තොරව විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට අවසර නොදිය යුතු බවට ආඥාපතිවරයා කළ ඉල්ලීම සියල්ලෝ පිළිගත්හ.’

මේ විදිහටම ලංකාවේ දකුණේ ද, 2012 නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ කැරලිකාරී තත්වයක් ඇති වීමෙන් පසු, බන්ධනාගාර පරිපාලනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නැ යි බන්ධනාගාර කොමසාරිස්වරයාම ඉල්ලා සිටියේය. මේ සියල්ලට අමතරව, 2009 සිට රජයේ ඉහළ තනතුරු සහ විදේශ සේවය සඳහා හිටපු හමුදා නිලධාරීන් පත්කරනු දැකගන්නට තිබේ. උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරු මෙන්ම ත‍්‍රිකුණාමලයේ දිසාපතිවරයා ද හිටපු හමුදා නිලධාරීන් ය.

ජාතියක අයිතීන් සහ අභිමානයට එරෙහිව දයානුග‍්‍රහය සහ කෘතඥතාව සිවිල් අවකාශය හමුදාව විසින් මෙසේ වට කරනු ලැබීම, විශේෂයෙන් තරුණයන් සහ දරුවන් සම්බන්ධයෙන් දැකගත හැකි තවත් අවස්ථාවක් වන්නේ, උතුරේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ හමුදාවේ මැදිහත් වීමයි. ශිෂ්‍යත්වය ප‍්‍රදානයන් සහ පොත්පත් බෙදා දීම් වැනි කටයුතු කෙරෙහි හමුදාවේ මැදිහත්වීම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ අපමණවත් ඇත. මෑතක දී, මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශවල මොන්ටිසෝරි පාසල් කළමනාකරණය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අතට ගෙන තිබේ. ඒ මගින් පාසල් පරිපාලනය විධිමත් කිරීමත්, ගුරුවරුන්ගේ පඩිනඩි ගෙවීමත් සිදුවුව ද, පාසලේ අධ්‍යාපන පරිපාටිය සහ වෙනත් ක‍්‍රියාකාරකම් පිළිබඳ තීරණ ගැනීම් කෙරෙහි බලපෑම් කිරීමක් ද අප බලාපොරොත්තු විය යුතුව තිබේ. තවද, කිලිනොච්චියේ පාසල්වල දැනට හමුදා නිලධාරීන් 103 දෙනෙක් සිංහල භාෂාව උගන්වති.

එන්ලෝ ප‍්‍රකාශ කරන පරිදි, ‘හමුදාකරණය ඉබේ සිදුවන්නේ නැත. තීරණ ගැනීමක්, බොහෝ තීරණ ගැනීමක්, ඊට අවශ්‍ය කෙරේ. ඒවා, සිවිල් අය විසින් සේම නිල ඇඳුම් හැඳගත් අය විසින් ද ගනු ලැබේ.’ ඉහත සඳහන් හමුදාවේ සුභසාධන කටයුතු සඳහා අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන ප‍්‍රාදේශීය ප‍්‍රජාව සහ සමාජ සේවා කණ්ඩායම් හරහා යෙදවෙනවා වෙනුවට, පුද්ගලයන් සහ විවිධ සමාගම් තමන් සපයන සම්මාදම් හමුදාව හරහා යොමු කිරීම මගින් පෙන්වන්නේ, හමුදාකරණය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති තරමයි.

හමුදාවේ මෙවැනි පරහිතකාමී සුභසාධන නිසා ඇති කැරැුවිය හැකි තවත් ප‍්‍රශ්නයක් වන්නේ, තමන්ගේ එවැනි යහක‍්‍රියාවල සේවය ලබන සමාජය පෙරලා තමන් වෙත කෘතඥතාව සහ අනුග‍්‍රහය දැක්විය යුතු බවට හමුදාව තුළ ඇති විය හැකි අපේක්ෂාව ය. තමන්ගේ එවැනි ක‍්‍රියාවන් ගැන හමුදාව ලියා තබන්නේ මෙවැනි සටහන් ය: ‘කෘතඥතා පුර්වක අර්ථලාභීන්’, ‘පුණ්‍ය ක‍්‍රියාව’, ‘ආරක්ෂක අංශවල මේ පරාර්ථකාමී සේවාව දරුවන්ව ඉමහත් සොම්නසට පත්කරයි’

බොහෝ විට, හමුදාකරණය සාමාන්‍ය දෙයක් වශයෙන් සැළකීමට, ගැටුමෙන් තැලී පොඩි වී සිටින මිනිසුන්ගේ ආර්ථික දුෂ්කරතා බලපායි. ජීවිකාව උපයා ගැනීමේ අවස්ථා හිඟකම නිසා හමුදා සේවයේ විවිධ අංශවල රැකියාවන්ට යාමට මේ මිනිසුන්ට සිදුවෙයි. මෙහි දී, ජීවිකාව උපයා ගැනීමේ ස්වාධීන අවස්ථා ඇති කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ, මිනිසුන්ගේ නැතිබැරිකම හරහා ඒ මිනිසුන්ව හමුදා අංශ වෙත ගාල් කරගනු ලැබීමයි. සිවිල් අවකාශය හමුදාව විසින් මෙසේ අල්ලාගනු ලැබීම පහසු කරවනු වස් ආයතන රටාවක් ද ගොඩනැගී තිබේ. ‘ජාතික ආරක්ෂාව සඳහා වන මාධ්‍ය මධ්‍යස්ථානය’, ‘සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව’, ‘සිවිල් ආරක්ෂක බලකාය’ ඉන් සමහරකි. මේ ව්‍යුහයන් තුළ සිවිල් අවකාශය ආක‍්‍රමණය කිරීමේ ඉඩකඩ ප‍්‍රසාරණය කෙරේ. උදාහරණයක් වශයෙන්, විවිධ විෂයයන් අරභයා හමුදා අණදෙන නිලධාරීහූ නිවේදන නිකුත් කරති.

යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ කුමන නීති යටතේ ද යන්න ප‍්‍රකාශයට පත්කරන්නේ ද හමුදා ප‍්‍රධානීන් ය.

හමුදාකරණය, ආණ්ඩුවේ පශ්චාත්-යුදකාලීන ජාතික සංහිඳියා උපායමාර්ගය තුළ ද වැදගත් ස්ථානයක් ගන්නා බව පෙනේ. උතුරේ ජනගහනය ප‍්‍රති-හමුදාකරණය කිරීම හරහා දෙමළ ප‍්‍රජාව සමග සංහිඳියාවකට එළැඹීමටත්, ශ‍්‍රී ලංකාවේ සමාජ නිර්මිතය තුළට දෙමළ ජනතාව අන්තර්ග‍්‍රහණය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. එම ව්‍යාපෘතියේ අංග වශයෙන්, කැඩෙට් භට කණ්ඩායම් පාසල් තුළ ස්ථාපනය කිරීම, හමුදාවේ මැදිහත් වීමෙන් පාසල් සිසුන් සඳහා නායකත්වය පුහුණු වැඩපිළිවෙලවල් දියත් කිරීම, හමුදාව මගින් සංවිධානය කරන පාසල් සංචාර, සිවිල් ආරක්ෂක බලකායට බැඳීමට ශිෂ්‍යයන් උනන්දු කැරැවීම සහ හමුදාවට දෙමළ තරුණියන් බඳවා ගැනීම ආදිය සිදු කෙරේ.

අවසාන වශයෙන් ගත් විට ප‍්‍රධානම ප‍්‍රශ්නය වන්නේ, සිවිල් කටයුතු කෙරෙහි හමුදාව මෙසේ මැදිහත්වීම තුළ ඇති අවදානම ගැන පොදු ජනතාවට ඇති අඩු අවබෝධය යි. ඒ වෙනුවට නිර්මාණය කෙරෙමින් පවතින්නේ, හමුදාව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ සෑම අස්සක් මුල්ලකම සිටිය යුතු අනිවාර්ය අංගයක් ය යන සංස්කෘතියක් සහ ආඛ්‍යානයකි. ඊට එරෙහිව එල්ල කෙරෙන ඕනෑම අභියෝගයක් සැළකෙනු ඇත්තේ ජාතික-විරෝධී, ද්‍රෝහී ක‍්‍රියාවක් වශයෙනි.

– අම්බිකා සත්කුනනාදන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *